You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 02:41 PM by  Poddi
කුණ්‌ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ වාරි කර්මාන්ත
 9 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Apr 2017 04:49 AM
    කුණ්‌ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම
    නරේන්ද්‍රසිංහ රජුගේ වාරි කර්මාන්ත


    කුණ්‌ඩසාලේ නුදුරු දම්බරාව වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. එදා එය අක්‌කර විස්‌සක්‌ පමණ ප්‍රදේශයක විහිඳී තිබූ විශාල වැවකි. කුණ්‌ඩසාලේ අගනුවර කිට්‌ටුවම පිහිටා තිබූ බැවින් ඇමතීන් සහ පිරිවර සමඟ රජු නිතර දම්බරාව වැවේ දිය නෑමට පැමිණ ඇත. අද රොන් මඩ පිරී වැවේ සීමාව බෙහෙවින් අඩු වී ඇත. වැව් බැම්ම වටා සරුවට ගහකොළ වැවී ඇත. බණ්‌ඩාර ඇළෙන් වැවට ගලා එන ජලය නතර වී ඇත. වැවද ගොඩ වී ගොසිනි. දුම්බරට අධිපති ගොවිතැන හා ගව පාලනයට අධිපති පිටියේ බණ්‌ඩාර දෙවියන්ට කැප වූ දේවාලයක්‌ දම්බරාව වැව යාව ඇත.

    උඩරට අවසාන සිංහල රජු කුණ්‌ඩසාලේ අගනුවර කරගත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයි. (ක්‍රි. ව. 1707 - 1739) ජන කවියා රජු හඳුන්වා ඇත්තේ "සෙල්ලම් නිරිඳු" යනුවෙනි. නැටුම් - ගැයුම් - ප්‍රශස්‌ති - කාව්‍ය - නාට්‍ය සංගීතය - සුරාව - ස්‌ත්‍රිය ප්‍රිය කළ කෙළිලොල් රජෙකු ලෙස ඔහු සටහන් වී ඇත. ක්‍රි. ව. 1707 සිට 1715 දක්‌වා කුණ්‌ඩසාලේ අගනුවර කරගත් ඔහු පල්ලේකැලේ මොරකැලේ ආරම්භ කළේය. 1715 වන විට කුණ්‌ඩසාලේ අතහැර වඩාත් ආරක්‌ෂාකාරී දියතිලකපුර හෙවත් හඟුරන්කෙත ඔහු තම අගනුවර කර ගත්තේය. ඕලන්ද ජාතික ඩැනියෙල්ගේ ලංකා විස්‌තරය අනුව සුරාව හා ජීවිත වැරදි නිසා අවුරුදු 49 වයස්‌ ගත වන විට රජු අකාලයේ රෝගී වී තුවාල ඔඩුදුවා මළේය. මහනුවර ඇති දෙමහල් දළදා මැඳුර නරේන්ද්‍රසිංහ රජුගේ නිර්මාණයකි. කෙළිලොල් රජෙකු ලෙස ප්‍රකට නරේන්ද්‍රසිංහ රජු ඉදිකොට ඇති වැව් හා වාරිමාර්ග පිළිබඳ දුර්ලභ තොරතුරු කීපයක්‌ මෙම ලිපියේ එයි.

    මහනුවර පන්විල හුන්නස්‌ගිරි කන්දෙන් ඇරැඹී ගලන රවන් ඔය පොල්ගොල්ලේදී මහවැලි ගඟට එකතු වන දිය දඟරකි. නරේන්ද්‍රසිංහ රජු පන්විල උඩුගොඩ ගමේදී රවන් ඔය හරස්‌ කොට විශාල අමුණක්‌ බැඳ එම අමුණේ සිට "බණ්‌ඩාර ඇළ" නමින් සැතපුම් දොළහක්‌ දිගට විශාල වාරි ඇළක්‌ කරවා අතරමැද කුඹුරු යායවලට ජලය ලබා දෙමින් නරේන්ද්‍රසිංහ රජු විසින්ම කරවූ කුණ්‌ඩසාලේ නුදුරු දම්බරාව වැව දක්‌වා බණ්‌ඩාර ඇළෙන් ජලය ගෙන ගියේය. දම්බරාව වැව පෝෂණය වූයේ බණ්‌ඩාර ඇළෙනි. බණ්‌ඩාර ඇළ අඩි පහක්‌ තරම් පළලය. අඩි හතරක්‌ පමණ උසය. සැතපුම් දොළහක්‌ දිගය. දම්බරාව වැවට ජලය ගෙන යන අතරතුර අතරමඟ පිහිටි උඩුගොඩ - වළල වැනි අතුරු අමුණු ගණනාවකට බණ්‌ඩාර ඇළ ජලය සපයයි. සමහර ජනකතාවල රජු වෙනුවෙන් බණ්‌ඩාර නම් අධිපතියෙක්‌ බණ්‌ඩාර ඇළ කළ බව කියවෙයි. උඩරට නෙළුම් කවිවල කියවෙන "දුම්බර කෙත" යනු වළල ගමේ තිබූ සරුසාර කුඹුරුයාය විය හැක.

    කුණ්‌ඩසාලේ නුදුරු දම්බරාව වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. එදා එය අක්‌කර විස්‌සක්‌ පමණ ප්‍රදේශයක විහිඳී තිබූ විශාල වැවකි. කුණ්‌ඩසාලේ අගනුවර කිට්‌ටුවම පිහිටා තිබූ බැවින් ඇමතීන් සහ පිරිවර සමඟ රජු නිතර දම්බරාව වැවේ දිය නෑමට පැමිණ ඇත. අද රොන් මඩ පිරී වැවේ සීමාව බෙහෙවින් අඩු වී ඇත. වැව් බැම්ම වටා සරුවට ගහකොළ වැවී ඇත. බණ්‌ඩාර ඇළෙන් වැවට ගලා එන ජලය නතර වී ඇත. වැවද ගොඩ වී ගොසිනි. දුම්බරට අධිපති ගොවිතැන හා ගව පාලනයට අධිපති පිටියේ බණ්‌ඩාර දෙවියන්ට කැප වූ දේවාලයක්‌ දම්බරාව වැව යාව ඇත.

    දම්බරාව නුදුරු දඹවෙල වැව නරේන්ද්‍රසිංහ රජුම කළ බව කියවෙයි. දඹවෙල වැව අදත් ජලයෙන් පිරී පවතියි. මේ වැව් බැම්මේ එදා දඹ ගස්‌ බහුලව තිබූ නිසා දඹවෙල යන නම ලැබී ඇත. අදත් වැව් බැම්මේ පැරණි දඹ ගසක්‌ ඉතිරිව ඇත. දැනට අවුරුදු තුනකට පමණ පෙර මෙම වැවට දිය නෑමට ගිය දරුවෙකුට වැවේ තිබී වටිනා රන්තලියක්‌ ලැබුණු බව පුවත්පත්වල පළ විය.

    දැනට විනාශව යමින් පවතින විශාල ප්‍රමාණයක්‌ ගොඩ වී ඇති පිලවල කොට්‌ට වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. පිලවල මහා විද්‍යාලය අසල ඇති "අවුරුදු දහසකට වඩා පැරැණි දැවැන්ත සියඹලා ගස ළඟින් ඇතුළට ගිය විට පිලවල කොට්‌ට වැව දැකිය හැක. වර්ෂාවට පස්‌ අවුත් පස්‌ පිරී දැන් කොට්‌ට වැව අක්‌කරයකට පමණ සීමා වී ඇත. රජරටදී "කොට්‌ට" යනුවෙන් හඳුන්වන වැව් විශේෂයක්‌ ඇත. පිලවල කොට්‌ට වැවට නම ලැබුණේද රජරට ඇති කොට්‌ට වැව් නිසාද යන්න කිව නොහැක.

    මහනුවර සිට සැතපුම් දහයක්‌ පමණ ඈත කුණ්‌ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වළල ගමේ එදා තිබූ බණ්‌ඩාර වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. බණ්‌ඩාර ඇළ මෙන්ම බණ්‌ඩාර වැවද නරේන්ද්‍රසිංහ රජු වෙනුවෙන් බණ්‌ඩාර නම් අධිපතියා කළ බව එක්‌ ජනප්‍රවාදයකි. වළල පිහිටි මෙම බණ්‌ඩාර වැව එදා අක්‌කර දහයකට වඩා විශාල විය. ඒත් කාලය සමඟ වළල බණ්‌ඩාර වැව විනාශ විය. 1965 පැරණි බණ්‌ඩාර වැව තිබූ බිමේ අලුතින් අක්‌කර පහක පමණ කුඩා වැවක්‌ අලුතින් හාරා ඇත. මෙම වැව පිහිටි බිම කිරි මැටි සහිතය. ඒ නිසා ඉවුරු ඉක්‌මනින් කැඩී බිඳී යයි.

    නරේන්ද්‍රසිංහ රජු කරවූ තවත් වැව් තුනක තොරතුරු අපට හමුවෙයි. මැණික්‌හින්න නුදුරු හුරීකඩුව ඉතා ප්‍රසිද්ධ පළිහගොඩැල්ල පිටිය දේවාලය ඇත. දුම්බර මිටියාවතේ සෙනඟ බහුලව ඇදී එන පිටියේ දේවාලය හුරීකඩුව පළිහගොඩැල්ලයි. මෙහිදී නාථ දෙවි හා පිටියේ දෙවි අතර සටනක්‌ වූ බැවින් ස්‌ථානයට ඒ නම ලැබී ඇත. මෙම දේවාලය අසල ගල්පිහිල්ල රජමහා විහාරය හා විහාර කටුගෙය ඇත. මෙම විහාරයට ගල්පිහිල්ල යන නම ලැබුණේ විශාල ස්‌වභාවික ජල උල්පතකින් ගලා ආ දිය ගොබයක්‌ නිසාය. එම දියගොබයට එදා විශාල අරලිය ගසක මුල කොටස ඔබන ලදුව ජල ගොබය අරලිය කොටස හරහා පිහිල්ලක්‌ ලෙස එකතු වී අක්‌කර දෙකක පමණ වැවක්‌ නිර්මාණය වී තිබුණි. අද උල්පත ඇතත් ජලය ඉතා අඩුය. ගල්පිහිල්ල වැව අද දක්‌නට නැත.

    කුණ්‌ඩසාලේ කෙළවර මහවත්ත ගම පිහිටා ඇත. මහවත්ත ගමට යන විට නරේන්ද්‍රසිංහ රජු කර වූ විනාශ වූ වැවක ලකුණු දැකිය හැක. ගමේ සමහර කොටස්‌ අදත් වැවේ නමින් හඳුන්වයි. ජනප්‍රවාද අනුව මේ වැව විනාශ වූයේ භූම්කම්පාවකිනි. "පවන" ප්‍රශස්‌ති කාව්‍යයේ අග එදා ලංකාවට බලපෑ භූමිකම්පා කීපයක්‌ ගැන කියෑවෙයි. පවන ප්‍රශස්‌ති කාව්‍ය සඳහන් කරන මේ එක භූමිකම්පාවක දී මහවත්ත වැවේ බැම්ම කඩා ගෙන ගොස්‌ මහවත්ත වැව විනාශ විය.

    කුණ්‌ඩසාලේට අයිති පිලවල ගම මායිමේ කිරිමැටිය ගම පිහිටා ඇත. අවුරුදු කීපයකට පෙර නළ ළිං සඳහා බිම කැණීමේදී පැරැණි වැවක මැටි තට්‌ටු මතු විය. මෙම විනාශ වූ කිරිමැටිය වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවා විය හැක.

    මහනුවර නගරයේ හා ඒ අවට එදා තිබී අද විනාශව ඇති හඳුනා නොගත් තවත් කුඩා වැව් නරේන්ද්‍රසිංහ රජු කළ බව අනුමාන කළ හැක.

    1715 වන විට නරේන්ද්‍රසිංහ රජු කුණ්‌ඩසාලේ අතහැර හඟුරන්කෙත අගනුවර කර ගත්තේය. හඟුරන්කෙත හා ඒ අවට වැව් හා ඇළවල් රාශියකි. 1890 ලැමෂියර් උප දිසාපතිගේ වාර්තාවේ හඟුරන්කෙත හා අවට තිබූ ඇළවල් 140 දක්‌වයි. ඉන් කීපයක්‌ හෝ නරේන්ද්‍රසිංහ රජු කළා විය හැකි බව පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් දිසානායක "දියතිලකපුර" ග්‍රන්ථයේදී කියයි.

    හඟුරන්කෙත අක්‌කර 2 - 5 අතර විශාල වැව් නවයක්‌ ඇත. ඉන් වැව් පහක්‌ රාජකීය පරිහරණයට සීමා විය. රජුටම සීමා වූ වැව් පහ නම් උඩගලඋඩ - කොණ්‌ඩතැන්න - එළුගම - උඩමළුව හා පහළ මළුව බව "දියතිලකපුර" ග්‍රන්ථය කියයි. ඒ හැර දෙහිපේ පන්වැව - මල්උල්ල - ගලඋඩ - අමුණුකුරේ - හප්පාවක යන වැව් හතර සාමාන්‍ය ජනයා සඳහා වෙන් විය.

    හඟුරන්කෙත රජුටම සීමා වූ වැව් පහ හා සාමාන්‍ය ජනයාට වෙන් වූ වැව් හතර අතරින් කීපයක්‌ නරේන්ද්‍රසිංහ රජු කළා විය හැක. ඒ සඳහා ස්‌ථිර සාක්‌ෂි නැත. එදා හඟුරන්කෙත රජ මැඳුරේ ජල අවශ්‍යතා සැපයුවේ මා ඇළයි. මා ඇළ ඉහළ කඳුකරයේ සිට ජලය රැගෙන අවුත් හඟුරන්කෙත පහළ මළුව යන රජුටම වෙන් වූ වැව් දෙක පෝෂණය කළේය. හඟුරන්කෙත වැව් හා ඇළවල් කීපයක්‌ නරේන්ද්‍රසිංහ රජු කළ බව කීම නිවැරදිය.

    වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ
    එස්‌. කේ. ජයවර්ධන
    උපුටා ගත්තේ - දිවයින වෙබ් අඩවියෙනි
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    22 Apr 2017 04:51 AM
    මේ ලිපිය වැදගත් නිසා ඔන්න පළ කරා
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    22 Apr 2017 04:52 AM

    කැප්පෙටිපොළ හිස මහජන ප්‍රදර්ශනයට තබමු

    කැප්පෙටිපොළ හිස නිදහස්‌
    අනුස්‌මරණ කෞතුකාගාරයේ ස්‌ථාපිත කිරීමට
    විරුද්ධ වන්නේ ඥාතීන්මද?

    විනී ලයනල් ගලහිටියාව

    4. වැනි පරම්පරාව

    හිස දුන් කැප්පෙටිපොළ නිලමේතුමාට දාව දෙල්වල කුමාරිහාමිට එකම පුතෙක්‌ සිටියේය. පියාගේ මරණින් පසු ලොකු බණ්‌ඩා නම් ඒ ළදරුවා ඉංග්‍රීසි ආණ්‌ඩුව මගින් කොළඹට ගෙන ගොස්‌ ශාස්‌ත්‍ර ඉගැන්නුවේය. වැඩි වයසට පැමිණි පසු ලොකුබණ්‌ඩා කැප්පෙටිපොළ දුනුවිල අද්වකාත් මහතාගේ සහෝදරිය හා විවාහ විය.

    5 වන පරම්පරාව

    ඒ දෙපොළට දූන් දෙදෙනෙක්‌ හා පුතෙක්‌ ලැබුණාහ. පුත්‍රයා නම් අවුරුදු 25 ක්‌ පමණ රාජකාරියෙහි යෙදී සිට 1921 දී පරලොවට සැපත් වූ මාතලේ හුලංගමුවේ වලව්වේ පදිංචිව සිටි මොනරුවිල කැප්පෙටිපොළ මාතලේ රටේ මහත්මයා ය. එතුමා විවාහ වී සිටියේ දුනුවිල අද්වකාත් මහතාගේ දුවක්‌ සමඟය.

    6 වැනි පරම්පරාව

    ඒ දෙපළට පුත්වරු හතර දෙනෙක්‌ හා දූවරු හතරදෙනෙක්‌ ලැබුණාහ.

    පුත්වරු නම් 1. ලොකුබණ්‌ඩාර මොනරුවිල කැප්පෙටිපොළ

    2. හැරී බණ්‌ඩා මොනරුවිල කැප්පෙටිපොළ

    3. විලියම් ආම්ස්‌ට්‍රන් මොනරුවිල කැප්පෙටිපොළ

    4. ඇඩ්මන් මොනරුවිල කැප්පෙටිපොළ යන සිව් දෙනාය. මින් හැරී බණ්‌ඩා කැප්පෙටිපොළ රටේ මහත්මයා හැර ඉතිරි තිදෙනා ජීවතුන් අතර සුවසේ සිටිති.

    දූවරු නම් 1. බේබි තල්දෙන කුමාරිහාමි,

    2. සීතාණෝ තිලකරත්න කුමාරිහාමි

    3. සෝමා බණ්‌ඩාරනායක කුමාරිහාමි

    4. මන්ත්‍රී පානබොක්‌කේ ආර්යාව

    මින් අද ජීවත්ව සිටින්නේ මන්ත්‍රී පානබොක්‌කේ ආර්යාව පමණි.

    7 වැනි පරම්පරාව.

    ලොකු බණ්‌ඩා මොනරුවිල කැප්පෙටිපොළ නිලමේට වික්‌ටර් කැප්පෙටිපොළ (ගම්පාළ උසාවියේ රාජකාරියේ නියුක්‌ත) නම් පුත්‍රයා ඇතුළුව දූ පුතුන් දස දෙනෙක්‌ සිටිති.

    ඇත්තෙන්ම කැප්පෙටිපොළ දිසාවයන්ගේ ඉදිරි පරපුරේ සිව්වැනි පරම්පරාවේ දියණියක්‌ වන පර්ල් කරලියද්ද සිය කිරිකිත්තා යෑයි පැවසුවත් අපැහැදිලිය. එයට වඩා හයවැනි පරම්පරාවේ මිණිබිරියක්‌ වන උපාලි කැප්පෙටිපොළ මහතාගේ දියණියක්‌ වන ධනරංජනී කැප්පෙටිපොළ මහත්මියට විශේෂිත බවක්‌ පෙළපත් සටහනින් පෙනේ.

    මහනුවර දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට මහ මළුව හරහා ගමන් කළ ද බොහෝ දෙනෙකුට එහි හුදකලාව පවතින කැප්පෙටිපොළ ස්‌මාරකය ගැන මතකයක්‌ නැත. අවධානයක්‌ද නැත.

    එහෙයින් වත්මන් රාජ්‍ය පාලනයත් සියලු ජනතාවත් ජාතික දර්ශනයක්‌ පිළිබඳව යොමුව ඇති මොහොතක තම රට, ජාතිය, ආගම හා නිදහස වෙනුවෙන් අභීතව සටන් කර දිවි පිදූ කැප්පෙටිපොළ රණවිරුවාණන්ගේ හිස්‌කබල වීරාභිවාදනය දන්නා සිංහලයන් විසින් සිංහල වීර නාමාවලියේ අග්‍ර ස්‌ථානයක තබා ප්‍රතෘස්‌මරණය කළ යුතුව ඇත.

    ඒ සඳහා කළ යුතු වන්නේ මහනුවර මහ මළුවේ පිහිටි ස්‌මාරකයෙන් කැප්පෙටිපොළ හිස්‌කබල ඉවතට ගෙන කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් සංරක්‍ෂණය කර නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගාරයේ තැන්පත් කර මහජනයාට ප්‍රදර්ශනය සඳහා ඉඩකඩ සැලසීමයි. එවිට එය ජාතික වීරවරයන්ගේ නියම නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගාරය බවට පත් වනු නියතය.

    මෙම නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගරය කොළඹ 7 නිදහස්‌ චතුරස්‍රයේ පිහිටි නිදහස්‌ මන්දිරයේ බිම් මහලයේ විශාල පිරිවැයක්‌ දරා වායු සමීකරණය කර 2008 වර්ෂයේ පෙබරවාරි 04 වැනි දින ස්‌ථාපිත කර ඇත.

    මෙම නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගාරයේ විජයාවතරණයේ සිට මේ දක්‌වා ජාතික අභිමානයෙන් නිදහස ලබා ගැනීම සඳහා දිවි හිමියෙන් කැපවූ වීරවරයන්ගේ ජීවමාන ස්‌වරූපයෙන් හිස්‌ කොටස්‌ නිර්මාණය කර ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම පැරැණි පුස්‌කොළ පොත්, ලිපි ලේඛන, පරිහරණය කළ බොහෝ දැ ප්‍රදර්ශනය කෙරේ.

    එවන් අවධියක ජාතික උරුමය වෙනුවෙන් සටන් කර දිවි පිදූ මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව ප්‍රධාන රණවිරුවන් දේශප්‍රේමීන් ලෙස ඔසවා තැබීමට වත්මන් රාජ්‍ය පාලනය ගත් එඩිතර තීන්දුවත් සමඟ එම විරු චරිත අනුස්‌මරණය කෙරෙන නෂ්ඨාවශේෂයන් සංරක්‍ෂණය කිරීම කෙරෙහි ද සමාජ කතිකාවතක්‌ නිර්මාණය වෙමින් පවතී.

    එලෙස ජාත්‍යාලයෙන් කැප වූ කැප්පෙටිපොළ රණවිරුවාගේ ජීවමාන සාධකයන් ප්‍රදර්ශනය කිරීම සඳහා නෑදැයන් හා සංවිධාන එක්‌ව ඵලදායී තීරණයක්‌ ගෙන රාජ්‍ය අනුග්‍රහය ලබා කටයුතු කළ යුතු කාලය එළඹ ඇත.

    එම කැප්පෙටිපොළ රණවිරුවා වෙනුවෙන් දැනට ජීවමානව ඇත්තේ වසර 198 ක්‌ සමණ පැරැණි හිස්‌කබල හා එතුමා අවසන් වරට වාසය කළ වසර 220 කටත් වඩා පැරැණි මාතලේ හුලංගමුවේ පිහිටි කැප්පෙටිපොළ මහ වලව්ව පමණි.

    එහෙයින් කළ යුතු වන්නේ කැප්පෙටිපොළ හිස්‌ කබල නිදහස්‌ අනුස්‌මරණ කෞතුකාගාරයේ තැන්පත් කර ප්‍රදර්ශනය කිරීම හා මාතලේ හුලංගමුවේ පිහිටි මහ වලව්ව විනාශ වීමට ඉඩ නොදී අදාළ බලවතුන් දැනුවත් කර ප්‍රතිසංස්‌කරණය කර අනාගත පරම්පරාවට ජීවමානව දැක ගත හැකි වන පරිදි තැබීමයි. එමගින් එතුමාට හා නෑදැයන්ට ගෞරවයක්‌ වනු නොඅනුමානය. එසේ නොවන්නේ නම් සිදු විය හැක්‌කේ යළිත් කිසිදාක මකාලන්නට බැරි වූ තරම් අවමානයකි.
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    22 Apr 2017 06:17 AM
    ඉතා වටිනා ලිපි දෙකක්..
    ඉතිහාසය තමයි මගේ ප්‍රියතම විෂය ...
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    22 Apr 2017 09:50 PM
    අද දරුවන් ගෙන් ඈත් වුන විෂය තමයි ඉතිහාසය.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    23 Apr 2017 08:00 PM
    ඒත් අයියේ නූතන සමාජය ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේ ප්‍රවණතාවයක් තියෙනවා අයියේ..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Apr 2017 08:58 PM
    ඉතිහාසය පිළිබඳව අධ්‍යනය කිරීම හරිම වටිනවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    13 May 2017 06:18 PM

    සෙංකඩගල දළදා මැඳුර ඉදිකර ඇත්තේ
    නොසිඳෙන ජල විලක්‌ මතුපිටද?

    මහනුවර අද දැකිය හැකි ශ්‍රී දළදා මාලිගාව මහනුවර නගරයේ ඉදි වූ පස්‌වැනි දළදා මාලිගාවයි. මීට පෙර තිබූ දළදා මාලිගා හතරක්‌ දිරාපත් වීම - පරසතුරු ආක්‍රමණ නිසා විනාශ වී ඇත.

    1. අද මහනුවර දක්‌නට ඇති එම නගරයේ ඉදිවූ පස්‌වැනි දළදා මැඳුර පිහිටි ස්‌ථානය ඉතා වැදගත් වෙයි. නගරයේ ඉහළම බිම්කඩ මේ අවට පැතිර ඇත. උඩවත්තකැලේ රාජකීය තහංචි කැලේ මායිමේ එය ඉදිවිය. එදා උඩවාසලවත්ත තහංචි කැලේ ඉතා විශාල ප්‍රදේශයක පැතිරී තිබූ අතර ඒ බහිරවකන්ද - ගන්නෝරුව කන්ද හරහා හන්තාන කැලෑවට ද අනෙක්‌ පැත්තෙන් ලේවැල්ල - පල්ලේකැලේ සිට රන්දෙණිගල තෙක්‌ පැතිරී ගිය පල්ලේකැලේ කැලෑවට ද සම්බන්ධ වී එකම වනරොදක්‌ ලෙස පැතිර තිබුණි. ඉංග්‍රීසි යුගයේ කෝපි වගාව සඳහා නගරය අවට වනාන්තර එළිකරන ලදුව එකම වනාන්තර විනාශ වී තැනින්තැන කුඩා වනරොදවල් ඉතිරි විය. නගරය ශීඝ්‍ර ලෙස ජනාවාස වීම නිසා ඉතිරිව තිබූ වනරොදවල් ද මිනිස්‌ ජනාවාසවලට යට විය.

    2. එදා විශාල බිමක පැතිර තිබූ උඩවාසලවත්ත හෙවත් උඩවත්ත කැලෑවෙන් ගලා ආ සීතල - පිරිසිදු ජල උල්පත් රජවාසලේ - දළදා මාලිගාවේ සතර දේවාල හා නගරයේ අවශ්‍යතා සඳහා භාවිත විය.

    3. එදා විශාල බිමක පැතිර තිබූ උඩවාසලවත්ත හෙවත් උඩවත්ත රක්‌ෂිතයෙන් ගැලු ඖෂධීය ගුණයෙන් යුතු සීතල ජලය යොදාගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි. ව. 1798 - 1815) දේවේන්ද්‍ර මුලාචාරියා ප්‍රධාන ශිල්පීන් යවා රජු හා රජ බිසවුන්ගේ දියනෑම සඳහා උල්පැන් පොකුණ දළදා මැඳුර ඉදිරිපිට ඉදි කළේය. ක්‍රි. ව. 1815 ඉංග්‍රීසීන් මේ වනසන ලදුව යළිත් ක්‍රි. ව. 1828 ටර්නර්ගේ සැලැස්‌මක්‌ අනුව උල්පැන් පොකුණ බදාමවලින් වසා ඒ මත කළු ගල් - ගඩොල් - දැව මිශ්‍ර දෙමහල් දැවැන්ත පුස්‌තකාලයක්‌ ඉදිකර ඇත. එය ක්‍රි. ව. 1857 විවෘත කරන ලදී. ඉංග්‍රීසීන් වසා දැමූ එම උල්පැන් පොකුණ දෙමහල් පුස්‌තකාලය එසේ ම තිබියදී මෑත කල සංස්‌කෘතික ත්‍රිකෝණය මඟින් යළිත් සාරා මතුකර ඇත. මෙම උල්පැන් පොකුණ ඒ අනුව අඩි 30 ක්‌ පමණ දිග අඩි 20 පමණ පළල අඩි 6 පමණ ගැඹුරු කැටයම් සහිත එකක්‌ විය.

    4. අම්පිටිය කඳුවලින් ඇරැඹී ගලා ආ හීල්පැන්කඳුරට දුනුමඩලාව හෙවත් වාකරේ කඳුවලින් ගලා ආ ජලධාරාව ද එකතු වී අද බෝගම්බර කිරිමුහුද පිහිටි බිමේ එදා එයට පෙර පැවති ටිගොල්වෙල වෙල්යාය මැදින් හීල්පැන්කඳුර ගලා අවුත් එහි රොන්මඩ සහිත ජලය මහමළුව පහළ කොටසේ තැන්පත් කරමින් දළදා මාලිගාව නාථ දේවාලය දෙසට ගලා ගියේය. මහමළුවේ පහළ කොටසේ හීල්පැන්කඳුරෙන් ගලා ආ සරුසාර පස තැන්පත් වී වගුරු බිමක්‌ නිර්මාණය වී තිබූ අතර මෙම වගුරු බිම "අලකොළේ" යන නාමයෙන් ප්‍රසිද්ධව ඒ වගුරුබිම මත අලකොළ යායක්‌ වැවී පැතිරී තිබුණි. මේ අලකොළ යාය මුල් කොටගෙන "රාජාවලිය" පැරැණි පිටපතක බෝගම්බර කිරිමුහුද "අලකොළ වැව" යනුවෙන් හඳුන්වා ඇත.

    5. අද දළදා මාලිගාව ඉදිරිපිට දක්‌නට ඇති දියඅගල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි. ව. 1798 - 1815) දේවේන්ද්‍ර මුලාචාරියා ලවා කරවූවකි. එදා එය දළදා මාලිගාවේ සිට දැනට විනාශව ඇති බොරවැව දක්‌වා දිය අගල දිගේ බොරවේ වීදිය ඔස්‌සේ සැතපුම් කාලක්‌ පමණ දුරට ගලා ගියේය.

    6. අද දළදා මැඳුර ඉදිරිපිට ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කරවූ දිය අගලට පෙර දළදා මැඳුර ඉදිරිපිට පැරැණි දිය අගලක්‌ තිබී ඇත. උඩවත්තකැලෙන් ගැලූ ජල උල්පත් හා මහමළුව හරහා ගලා ආ හීල්පැන්කඳුරේ ජලය එකතු වී මෙම පැරැණි දියඅගල දළදා මැඳුර ඉදිරිපස සිට බොරවැව දක්‌වා ගලාගිය බව සිතිය හැක.

    7. එදා දළදා මැඳුර - සෙංකඩගල නගරය වටා කඳුහෙල් - වනාන්තරවලින් පිරී තිබූ නිසා නගරයේ ගලාගිය දිය ධාරා වැඩිවිය. ඒවා පවිත්‍ර විය. කැලෑ විනාශය සමඟ ජල උල්පත් ද විනාශ වන්නට විය.

    8. සෙංකඩගල නගරය මුලින්ම බිහිවූයේ ගමක්‌ වශයෙනි. ඉන්පසු යුද බලකොටුවක්‌ වශයෙනි. "අස්‌ගිරි තල්පත" හා "අස්‌ගිරි උපත" අනුව කුරුණෑගල හතරවැනි පරාක්‍රමබාහු රජු කල (ක්‍රි. ව. 1310 - 1325) මෙම බලකොටුව එම රජුගේ බෑනා වූ ශ්‍රී වර්ධනප්‍රතිරාජ විසින් ක්‍රි. ව. 1312 යුද බලකොටුවක්‌ ලෙස ඉදිකර ඇත.

    9. ගම්පළ අගනුවර ව පැවති අවධියේදී ගම්පළ තුන්වැනි වික්‍රමබාහු රජුගේ (ක්‍රි. ව. 1356 - 1371) විවේකය ගතකිරීම සඳහා සන්සුන් ප්‍රියංකර පරිසරයක්‌ තිබූ සෙංකඩගල මුලින්ම නගරයක්‌ ලෙස දියුණු කර ඇත. ගම්පොළ තුන්වැනි වික්‍රමබාහු රජු මෙම නගරය ඉදිකළේ සුබ නක්‌ෂත්‍ර යෝගයක්‌ අනුවයි. නගරය සෑදීමට බිම කණින විට සුදු ඉදිබුවකු මතු වූයේ වාසනාවේ සංකේතයක්‌ ලෙසිනි. මෙම සුදු ඉදිබුවා තුන්වැනි වික්‍රමබාහු රජු විසින් පොකුණක්‌ සාදවා එයට දැමූ බව කියෑවෙයි. මෙම සුදු ඉදිබුවා සහිත පොකුණ දිගු කලක්‌ පැවති අතර පසුකල එය මත වර්තමාන දළදා මැඳුර ඉදි වූ බව එක්‌ අදහසකි. තවත් අදහසක්‌ අනුව මෙම සුදු ඉදිබුවා සහිත පොකුණ වර්තමාන බෝගම්බර කිරිමුහුද සෑදීමේදී එයට එක්‌ වී ඇත.

    10. සෙංකඩගල කල ලියෑවුණු "නිදන් වදුළ" ග්‍රන්ථය අනුව දළදා මැඳුර සෑදීමේදී ඒ යට වටිනා වස්‌තුව - ඖෂධ - බලගතු ද්‍රව්‍ය යටකර ඇත. ඒවා එම ස්‌ථානයේ ආරක්‌ෂාව සඳහාය.

    11. ගම්පොළ තුන්වැනි වික්‍රමබාහු රජු කල ඉදිකළ සුදු ඉදිබුවා සහිත කුඩා පොකුණ මත වර්තමාන දළදා මැඳුර ඉදිවුවා ද නැත්නම් උඩවත්තකැලේ කැලෑවෙන් ගලා ආ සීතල පවිත්‍ර ඖෂධීය ජලය පිහිටි ස්‌වභාවික කුඩා විළක්‌ මත දළදා මැඳුර ඉදිකළා විය හැක.

    12. දැන් ඇති පස්‌වැනි දළදා මැඳුර මුලින්ම මෙහි ඉදිකළේ කුණ්‌ඩසාලේ අගනුවර කරගත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. (ක්‍රි. ව. 1707 - 1739) ඒ එම ස්‌ථානයේ ආරක්‌ෂාව සඳහාය. ඒ පිළිබඳ දිගු විස්‌තරයක්‌ චූලවංශයේ දැක්‌වෙයි. බලගතු ආරක්‌ෂක ද්‍රව්‍ය නිදන් කොට ස්‌වභාවික ජල තටාකයක්‌ මැද මෙම දළදා මැඳුර නිර්මාණය කර ඇත.

    13. ඕලන්ද ජාතිකයන් විසින් ක්‍රි. ව. 1765 වෑන් ඊක්‌ එල්ල කළ ඕලන්ද ප්‍රහාරයකින් දළදා මැඳුරට විශාල හානියක්‌ සිදුවිය. මේ නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජු

    (ක්‍රි. ව. 1747 - 1782) ඕලන්දයන් විනාශ කළ දළදා මැඳුර නැවත මුළුමනින් අලුත්වැඩියා කිරීමට දිගු කාලයක්‌ ගත්තේය. යළි දළදා මැඳුර විවෘත වූයේ

    ක්‍රි. ව. 1770 වෙසක්‌පුර පසළොස්‌වක දා ය.

    14. මේ නිසා සමහර මූලාශ්‍රවල මෙම දළදා මාලිගාව කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරවූ බව සටහන් වෙයි. ඒ අර දීර්ග ප්‍රතිසංස්‌කරණය නිසාය.

    15. එහෙත් "ශ්‍යාමෝසම්පදාවත" ග්‍රන්ථය කියනුයේ ඕලන්දයන් වැනසූ පැරැණි දළදා මැඳුර අසල කීර්ති ශ්‍රී රාජසිංහ රජු අලුත් දළදා මැඳුරක්‌ ඉදිකොට ඕලන්දයන් වැනසූ දළදා මැඳුර කීර්ති ශ්‍රී රාජසිංහ රජු යළි ඉදිකළ අතර ඒ අසලම අලුත් දළදා මැඳුරක්‌ කරවා දළදා හිමි පැරැණි දළදා මැඳුරෙන් ක්‍රි. ව. 1770 දළදා හිමි අලුත් දළදා මැඳුරට වැඩමවා ඇත.

    16. ස්‌වභාවික විළක්‌ මැද ඉදි වූ දළදා මැඳුරේ අවට පරිසරය කැලෑ එළිවී ජනාවාස වී තෙත් බව සිඳී වියළි විය. පැරැණි ස්‌වභාවික විල් තලාව ඇත්තේ දළදා මැඳුරට යටපත්වය. දළදා මැඳුරේ මුළුතැන්ගෙය පැත්තේ කැණීම්වලදී මතු වූ ගල් කැටයම් පැරැණි ගොඩනැඟිලි කොටස්‌ කැටයම් කොටස්‌ උල්පැන්පොකුණ පැත්ත ඉදිරියේ ප්‍රදර්ශනයට තබා ඇත. එහි අඩි 15 පමණ ගැඹුරු ජලය සහිත ළිඳක්‌ දැකිය හැක. මෙම ළිඳේ ජල මට්‌ටම දළදා මැඳුරට යටවූ ස්‌වභාවික විල් තටාකයේ ජල මට්‌ටම අනුව පවතින බව පිළිගැනෙයි. වෙනත් වචනවලින් කිවහොත් දළදා මැඳුර ඉදිකර ඇති පැරැණි ස්‌වභාවික ජල තටාකයේ ජලය දළදා මාලිගාවේ මුළුතැන්ගෙය පැත්තෙන් අද දැකිය හැකි පැරැණි ළිඳෙන් මතුවෙයි.

    වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ
    එස්‌. කේ. ජයවර්ධන

    උපුටා ගැනිම - දිවයින

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10449






    --
    14 May 2017 05:39 AM
    ඉතා වැදගත් ලිපියක්... ස්තූතියි මල්ලී...
    0

    Poddi
    Veteran Member
    Veteran Member
    Posts:2100






    --
    26 Apr 2019 02:41 PM
    දැන් රට පාලනය කරන නායකයොත් එක්ක බලද්දී එකල රජවරුන්ට මල් තියලා වැන්දත් මදි
    ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
    0
    You are not authorized to post a reply.